ඩොප්ලර් ආචරණය
From Wikipedia, the free encyclopedia
මෝටර් රථ එන්ජිමක් හෝ සයිරන් නලාවක් නිරීක්ෂකයකු දෙසට ළඟා වන විට, නිරීක්ෂකයාගෙන් ඉවතට යන විට දී ට වඩා එහි ශබ්දයෙහි තාරතාවය උස් වී ශ්‍රවණය වීමට ඩොප්ලර් ආචරණය හේතු වන අන්දම මෙම චලන චිත්‍රය මගින් නිරූපණය කරයි. රෝස පැහැ චාප ධ්වනි තරංග යි. රථය වම් පසට යත් ම, කිසියම් ස්ථානයක දී නිකුත් කරන ලද අනුයාත තරංග දෙකකින් පළමු වැන්න වම් පසට ගමන් කරන දුරට වඩා දුරක් දෙවැන්න වම් පසට ගමන් කරයි. එමනිසා මෝටර් රථයට ඉදිරියෙන් (වම් පසින්) සිටින නිරීක්ෂකයකු දෙසට එන සෑම තරංගයක් ම ඔහු වෙත ඒමට ගන්නා කාලය ඊට පෙර තරංගය ඔහු වෙත ඒමට ගන්නා කාලයට වඩා සුළු වශයෙන් අඩු වේ. මෙලෙස තරංගවල එකට කැටිවීම, අනුයාත තරංග පෙරමුණු දෙකක් නිරීක්ෂකයා වෙත ළඟා වීමට ගන්නා කාල පරාසයන් ක්‍රමයෙන් අඩුවීමට හේතු වන නිසා එය උස් සංඛ්‍යාතයක් ශ්‍රවණය වීමට හේතු වේ. මෝටර් රථයට පසුපසින් (දකුණු පසින්) සිටින නිරීක්ෂකයකු දෙසට එන සෑම තරංගයක් ම ඔහු වෙත ඒමට ගන්නා කාලය ඊට පෙර තරංගය ඔහු වෙත ඒමට ගන්නා කාලයට වඩා සුළු වශයෙන් වැඩි වේ. මෙලෙස තරංගවල පැතිරීම, අනුයාත තරංග පෙරමුණු දෙකක් නිරීක්ෂකයා වෙත ළඟා වීමට ගන්නා කාල පරාසයන් ක්‍රමයෙන් වැඩි වීමට හේතු වන නිසා එය සුළු වශයෙන් අඩු සංඛ්‍යාතයක් ශ්‍රවණය වීමට හේතු වේ.
සංඛ්‍යාතයේ සාපේක්ෂ වැඩි වීම පහත පරිදි පැහැදිලි කළ හැක. තරංග ප්රභවය නිරීක්ෂකයා දෙසට චලිත වන විට, කිසියම් ස්ථානයක දී නිකුත් කරන ලද අනුයාත තරංග පෙරමුණු දෙකකින් පළමුවැන්න නිරීක්ෂකයා වෙත ළඟා වන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෙවැන්න නිරීක්ෂකයා වෙත ළඟා වේ. එබැවින් සෑම තරංග පෙරමුණක් ම නිරීක්ෂකයා වෙත ළඟා වීමට ඊට පෙර තරංග පෙරමුණ ගත් කාලයට වඩා සුළු වශයෙන් අඩු වූ කාලයක් ගනියි. මේ හේතුවෙන් අනුයාත තරංග පෙරමුණු දෙකක් නිරීක්ෂකයා වෙත ළඟා වීමට ගන්නා කාල පරාසය ක්‍රමයෙන් අඩු වේ. එය, සංඛ්‍යාතයේ වැඩි වීමට හේතු වේ. තරංග පෙරමුණු චලිත වන අතරතුර අනුයාත තරංග පෙරමුණු දෙකක් අතර පරතරය අඩු වන නිසා තරංග එකට "කැටි" වේ. වි ධ්වනි ප්‍රභවයක්, නිරීක්ෂකයකුට සාපේක්ෂ ව චලිතයක යෙදෙන විට තරංගයේ සංඛ්‍යාතය වෙනස් වීම, 1842 වසරේ දී පැරගුවේ රාජ්‍යයේ දී ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥයකු වූ ක්‍රිස්ටියන් ඩොප්ලර් විසින් පළමු වරට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සංසිද්ධිය ඩොප්ලර් ආචරණය නමින් හඳුන්වනු ලබයි. වාහනයක් සයිරන් නලාවක් නාද කරමින් නිරීක්ෂකයකු දෙසට එන විට, පසු කරන විට, නිරීක්ෂකයාගෙන් ඉවතට යන විට යන අවස්ථාවල දී මෙම සංසිද්ධිය පැහැදිලි ව අත්විඳිය හැක. ධ්වනි ප්රභවය නිරීක්ෂකයා දෙසට ළඟා වන විට ග්‍රහණය වන සංඛ්‍යාතය වැඩි වන අතර(ප්රභවය විසින් නිකුත් කරනු ලබන සංඛ්‍යාතයට සාපේක්ෂ ව), නිරීක්ෂකයාගෙන් ඉවතට යන විට ග්‍රහණය වන සංඛ්‍යාතය අඩු වේ. ප්රභවය හරියටම නිරීක්ෂකයා පසු කර යන අවස්ථාවේ දී ප්රභවය විසින් නිකුත් කරනු ලබන සංඛ්‍යාතය ම නිරීක්ෂකයාට ශ්‍රවණය වේ.
විලෝම වශයෙන්, තරංග ප්රභවය නිරීක්ෂකයාගෙන් ඉවතට චලිත වන විට, කිසියම් ස්ථානයක දී නිකුත් කරන ලද අනුයාත තරංග පෙරමුණු දෙකකින් පළමු වැන්න නිරීක්ෂකයා වෙත ළඟා වන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් දෙවැන්න නිරීක්ෂකයා වෙත ළඟා වේ. එමනිසා අනුයාත තරංග පෙරමුණු දෙකක් නිරීක්ෂකයා වෙත ළඟා වීමට ත වන කාල පරාසය ක්‍රමයෙන් වැඩි වේ. එය සංඛ්‍යාතය අඩු වීමට හේතු වේ. අනුයාත තරංග පෙරමුණු අතර පරතරය වැඩි වන නිසා තරංග "පැතිරීමක්" වන බව කිව හැක.
මාධ්‍යයක් තුළින් ප්‍රචාරණය වන ධ්වනි තරංග වැනි තරංග සඳහා නිරීක්ෂකයාගේ සහ ප්‍රභවයේ ප්‍රවේග, තරංග ප්‍රචාරණය වන මාධ්‍යයට සාපේක්ෂ ව ගත යුතු ය. එබැවින් ප්‍රභවයේ ප්‍රවේගය, නිරීක්ෂකයාගේ ප්රව්ගය මෙන්ම ප්‍රචාරණ මාධ්‍යයේ ප්‍රවේගය ද සම්පූර්ණ ඩොප්ලර් ආචරණය සඳහා බලපායි. මෙම එක් එක් ආචරණය වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කෙරේ. ආලෝකය හෝ සාමාන්‍ය සාපේක්ෂතාවේ එන ගුරුත්වය වැනි, ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග සඳහා ප්‍රභවයේ සහ නිරීක්ෂකයාගේ ප්‍රවේග අතර සාපේක්ෂ වෙනස පමණක් ඩොප්ලර් ආචරණය කෙරෙහි බලපායි.