බාජිරාඕ මස්තානි ලද ඇගයුම් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
බාජිරාඕ මස්තානි යනු සංජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය සහ ස්වර නිර්මාණය කරන ලද 2015 ඉන්දියානු වීරකථා ඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයකි. මෙය භන්සාලි ප්‍රොඩක්ෂන්ස් සහ ඊරෝස් ඉන්ටර්නැෂනල් සම-නිෂ්පාදනයනි.[1] චිත්‍රපටයේ ප්‍රධාන චරිත සැලකූ විට, රන්වීර් සිං විසින් Iවන බාජිරාඕ ලෙසත්, දීපිකා පඩුකෝන් මස්තානි ලෙසත් සහ ප්‍රියංකා චොප්රා කාෂිබායි ලෙස රංගනයේ යෙදෙති. තාන්වි අස්මි, ආදිත්‍ය පන්චෝලි, වෛභාව් තත්වාව්දි සහ මිලින්ද් සෝමන් මෙහි සහාය චරිත නිරූපණය කරති.[1] මෙහි තිර රචනය සිදුකරන ලද්දේ ප්‍රකාශ් ආර්. කපාඩියා විසිනි. මෙහි සිනෙමාරූපණය සුදීප් චැටර්ජී විසින් සිදුකරන ලදී.[1] නාග්නාත් එස්. ඉනම්දාර්ගේ රාවු නම් මරාඨි නවකථාව ආශ්රයෙන් නිර්මිත මෙම චිත්‍රපටය මගින් මරාඨ පේශ්වා බාජිරාඕ සහ ඔහුගේ දෙවන බිසව වූ මස්තානිගේ කථාව නිරූපණය වේ.[2][3]
1.25 බිලියන (US$19 මිලියන)ක පිරිවැයක් දරා නිපදවූ මෙම චිත්‍රපටය 2015 දෙසැම්බර් 18 දින මුදාහැරුණේ යහපත් විචාරක ප්‍රතිචාර හිමි කරගනිමිනි.[4][5] 2016 මැයි වන විට, බාජිරාඕ මස්තානි බොක්ස් ඔෆීස් අතින් 3.6 බිලියන (US$56 මිලියන)කට අධික ආදායමක් වාර්තා කොට තිබුණේ සර්වකාලීන ඉහළම ආදායම ලබන ඉන්දියානු චිත්‍රපට අතුරින් එකක් බවට පත්වෙමිනි.[6][7] විවිධාකාර වූ ප්රවර්ගයන් ඔස්සේ සම්මාන සහ නිර්දේශ හිමි කරගත් මෙම චිත්රපටයෙහි භන්සාලිගේ අධ්‍යක්ෂණය සහ සංගීතය, චොප්රා සහ සිංගේ රංගනය, සිනෙමාරූපණය, කලා අධ්‍යක්ෂණය සහ වස්ත්‍ර නිර්මාණය පැසසුමට භාජනය විය.
63වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී, බාජිරාඕ මස්තානි සම්මාන හතක් හිමි කරගත්තේ ය. එහි දී හොඳම අධ්‍යක්ෂක සඳහා භන්සාලිටත්, හොඳම සහාය නිළිය ලෙස අස්මිත්, හොඳම සිනෙමාරූපණය සඳහා චැටර්ජී සහ හොඳම කලා අධ්‍යක්ෂණය යන සම්මාන හිමිකරගැනීමට හැකි විය. 61වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී වැඩිම නිර්දේශ ප්‍රමාණයක් එය හිමි කරගත්තේ නිර්දේශ දාහතරක් ලබා ගනිමිනි. එම සම්මාන උළෙලේ දී බාජිරාඕ මස්තානි සම්මාන නවයක් හිමි කරගත්තේ අනෙක් කිසිදු චිත්‍රපටයක් නොලද ආකාරයෙනි.[8][9] එහිදී භන්සාලිට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක සම්මානත්, හොඳම නළුවා සඳහා සිංටත්, හොඳම සහාය නිළිය ලෙස චොප්රාටත් සම්මාන හිමි විය. 2015 ප්‍රොඩියුසර්ස් ගිල්ඩ් චිත්‍රපට සම්මාන උළෙලේ දී මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය, චොප්රා සහ පඩුකෝන් යන දෙදෙනාටම හිමිවූ ප්‍රධාන චරිතයක හොඳම නිළිය ඇතුළු නිර්දේශ දහතුනක් හිමිකරගත්තේ ය. මෙහි දී චිත්‍රපටය සම්මාන නවයක් දිනාගත් අතර මේ අතරට, භන්සාලිට හිමිවූ හොඳම අධ්‍යක්ෂක, සිංට හිමිවූ හොඳම නළුවා සහ අස්මි ලද හොඳම සහාය නිළිය යන සම්මාන අයත් වේ. 22වන ස්ක්‍රීන් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂක ඇතුළු නිර්දේශ දහතුනක් හිමි කරගැනීමට බාජිරාඕ මස්තානි සමත් විය. එහි දී සම්මාන හතක් හිමි විය. මෙහි දී හිමිවූ සම්මාන අතර සිං ලද හොඳම නළුවා සහ අස්මි ලද හොඳම සහාය නිළිය යන සම්මාන වැදගත් වේ. එසේම 17වන අයිෆා සම්මාන උළෙලේ දී මෙම චිත්‍රපටය භන්සාලි ලද හොඳම අධ්‍යක්ෂක සම්මානය, සිං ලද හොඳම නළුවා සම්මානය සහ චොප්රා ලද හොඳම සහාය නිළිය ඇතුළු සම්මාන දහතුනක් (නිර්දේශ දාහතක් අතරින්) හිමි කරගත්තේ ය.